වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් සංචරණ සීමා පැනවීමට යෝජනා

රජය මගින් රටපුරා පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා, කොවිඩ්-19 වෛරසය පැතිරයාම පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරනවා.

රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් ඇති වුවද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොවිඩ්-19 වසංගතය ශීඝ්‍ර ලෙස ඉහළ ගියහොත් රට තුළ සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශ ද අඩපණ විය හැකි බව ඒ මහතා සඳහන් කරනවා.

කොවිඩ්-19 වෛරසය පැතිරයාම පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණකින් කටයුතු කළ යුතු බව ද ඔහු පවසනවා.

කොවිඩ්-19 වසංගතය පැතිරයාම පාලනය කිරීමට අවම වශයෙන් දින දාහතරක කාලයක් අඛණ්ඩව රට වසා තැබීමට කටයුතු කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය විද්වතුන් බොහොමයක් රජයෙන් ඉල්ලා සිටියා. දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා, අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට කටයුතු සලසා තිබෙනවා. නාගරික සහ අර්ධ නාගරික සීමාවන් තුළ පිහිටි සුපිරි වෙළඳ සැල් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට මුදල් ගෙවා ගෙදරටම ගෙනවා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතිනවා.