නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකින් දීර්ඝ කිරීමට

කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අනුව නිරෝධායන නීතිය අවසන් වන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා අඟහරුවාදා අලුයම හතරටය. රටපුරා කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්වූ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මෙම නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් මස 13 වැනිදා සඳුදාය.

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිටය.

නිරෝධායන ඇඳිරි නීතිය අද මෙසේ දීර්ඝ කෙරුණේ දෙවැනි වතාවට වන අතර රටපුරා ඇඳිරි නීතිය පණවා මේ වනවිට දින විසි තුනක් ගත වී තිබෙනවා. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාලය ලබන 21 වැනිදා වනවිට දින තිස්තුනක් දක්වා ඉහළ යනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සැප්තැම්බර් 10 දා පෙරවරුවේ රැස්වුණා.