ශ්‍රී ලංකාව නැවතත් කොළ කලාපයට පිවිසේ.

ශ්‍රී ලංකාව කොවිඩ් රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ්-19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍යයට පැවසුවා.

cඔවිඩ්-19 සැලකිය යුතු ලෙස පාලනය වූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට යැයි ද හෙතෙම සඳහන් කළා.

ජනතාව පරිස්සම්කාරී ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි බවත් කොළ කලාපය රැකගැනීම ජනතාවගෙන් යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත් ඇතුළත් කරනු ලැබ ඇතැයි පැවසූ හම්දානි මහතා, දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව සහ කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇතැයි ද කීවා.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වා ද රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වා ද පහත බැස ඇතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1100 දක්වා ඉහළ ගිය බව ද අන්වර් හම්දානි මහතා පැවසුවා.

මේ අතර, දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ද 50 ට අඩු මට්ටමට පැමිණ ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.