මැයි 10: පිට පිට දෙවැනි දිනටයටත් කොවිඩ්-19 ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වේ

අද මැයි 10 වනදා මුල්වටයේදී ආසාදිතයින් 1,581 වාර්තා වූ අතර අනතුරුව තවත් කොවිඩ්-19 ආසාදිතයින් 992ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ දී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573 ක් වුණා. පිට පිට දෙවැනි දිනටයටත් කොවිඩ්-19 ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වෙන්නේ ඊට පෙර දින හෝ ආසන්න දිනක ලබාගත සාම්පලවල පරීක්ෂණ ප්‍රතිඵල ලෙසයි.  අද දිනයට මෙරට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 128,479  ක්.

මේ අතර, මෙරට දෛනික ආසාදිතයන් 10,000 සීමාව ඉදිරි සති තුනක කාලයේදී ඉක්මවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුරෝකථනය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දෙරණ නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් සඳහන් කළා. මේ මොහොතේ කවරෙකු හෝ කොවිඩ්-19 වෛරසය සමාජගත වීමක් සිදුවන්නේ නැතැයි සිතා සිටින්නේ නම් එය තමන්ව ම රවටා ගැනීමක් බවත් අවසානයේ එයින් මහත් විනාශයක් වීම හැකි බවත් ඔවුන් කියා සිටියා.

අද රාත්‍රියේ සිට කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා විශේෂ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට, ජනාධිපතිතුමා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. ඒ අනුව, පළාත් අතර සංචරණයට සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් හෙට සිට අන්තර් පළාත් බස් ධාවනය අත්හිටුවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කළා. මේ අනුව, අනෙකුත් ප්‍රවාහන සේවාවන් ද අදාළ ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුගතව නුදුරු කාලයේදී ක්‍රියාත්මක වනු ඇත.