නව සීමා කිරීම් සමග ඔක් 01 වැනිදාට රට විවෘත කිරීමට යෝජනා

දැඩි සංචරණ සීමා යටතේ, එළැඹෙන 01 වැනි දා රට විවෘත කළ හැකි බව, රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරනවා.
දීර්ඝ කාලයක් රට වසා දැමීමේ හොඳ ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බව ද ඔහු පවසනවා.

කෙසේ නමුත්, රට විවෘත කළත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට සේවකයන් කැඳවීමේ 25% සීමාව තවදුරටත් පවත්වාගෙන යා යුතු බව පවසන ඔහු, පොදු ප්‍රවාහන සේවාවල මගීන් රැගෙන යාම ද 50%ක සීමාවේ දිගටම තබා ගත යුතු බව තවදුරටත් සඳහන් කරනවා.

විවාහ උත්සව, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම තවදුරටත් සිදු නොකළ යුතු බව පවසන ඔහු, රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැක්කේ එන්නත්කරණය සියයට 70-80 සීමාවට ළඟා වූ පසුව යැයි ද කියා සිටිනවා.

රට වසා දැමූ කාලයේදී මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සතුටුදායක ලෙස අඩු වී ඇති බවත් එය යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙනවා.