මැයි 13: තවත් කොවිඩ්-19 ආසාදිතයින් 2,249ක්

මැයි 13 දිනය තුළ මුල් වටයේදී කොවිඩ්-19 ආසාදිතයින් 1,075ක් සහ අනතුරුව තවත් ආසාදනය වූ රෝගීන් 1,174 දෙනෙකු හඳුනාගැනීමත් සමග දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,249ක් වේ. මේ වන විට, මෙරට හමු වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 135,776ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 1,145 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 108,802ක් වෙනවා.

ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සීෂෙල්ස් රාජ්‍යයේ සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 වෛරසය වැළඳී තිබෙනවා. මේ හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන දැඩි කණස්සල්ලෙන් පසුවන බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ එන්නත් ලබා දීමෙන් මූලිකම බලාපොරොත්තුව වන්නේ රෝගීන් මිය යෑම වැළැක්වීම බවයි.

මේ අතර, අවුරුදු 60 ට වැඩි එහෙත් සංකූලතා නොමැති පුද්ගලයින්ට ද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාදීමට තීරණය කළ බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.