මැයි 11: තෙවන දිනයටත් මෙරට සමස්ත ආසාදිතයින් 2500 ඉක්මවයි.

අද (මැයි 11) දිනය තුළ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් 2530 වාර්තා වූ මෙය, පිට පිට තෙවෙනි දිනටයටත් කොවිඩ්-19 ආසාදිතයින් 2,500 ඉක්මවා යාමක් ලෙස වාර්තා වෙනවා. මේ සියලු වාර්තාවන් සකස් වන්නේ ඊට පෙර දින හෝ ආසන්න දිනක ලබාගත සාම්පලවල පරීක්ෂණ ප්‍රතිඵල ලෙසයි. මේ අනුව, අද දිනය වන විට මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 131,060ක් දක්වා ඉහළ ගියා.

එමෙන් ම, කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 1,030 දෙනෙක් සුවය ලබා අද (මැයි 11 දා) රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 106,641 ක් බව වාර්තා වුණා. මීට අමතරව, කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ 23 දෙනෙක් මරණයට පත් වූ බව අද (11) දිනයේදී වාර්තා වුණා. ඒ අතුරින් බොහොමයක් මරණවලට හේතුවූයේ කොවිඩ්-19 නියුමෝනියා තත්ත්වය බව සඳහන් වෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.

අද රාත්‍රීයේ සිට වසංගතය පිටුදැකීම සඳහා රජය නිතුකල නව ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මකයි, ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා බාධාවක් නොවන ලෙස අන්තර් පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වනවා.

මේ අතර, කොවිඩ්-19 ට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති එන්නත්කරණ ක්‍රියාවලිය ද සිදුවෙමින් පවතිනවා. එම එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් අද දිනයේ සිට එක් කර තිබුණා. මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා ලයිස්තු ගත කර සිටින ලක්ෂ 135ක් වන ජනතාවට, එම එන්නත්වල පළමු මාත්‍රාව තවත් මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබා දී අවසන් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව වාර්තා වෙනවා.