මැයි 07: ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවමත් 2000 ආසන්නයේ, අද 1889 ක්.

මැයි මස 07 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1889 ක් ලෙස වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී ආසාදනය වී ඇති රෝගීන් 1,097 දෙනෙක් වාර්තා වූ අතර අනතුරුව 792 වාර්තා වුනා. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 120,521 ක්.

කොවිඩ්-19 ආසාදිතයන් ගණන ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාසවල ම රඳවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා. එසේ නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දිනවල සකස් කරමින් සිටින බව ද ඇය තව දුරටත් සඳහන් කළා.

මේ අතර, කොවිඩ්-19 මර්දනය සදහා චීනයේ නිෂ්පාදනයක් වන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කළා. මේ අතර, ශ්‍රී ලාංකිකවේ භාවිත කළ අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවා. ඉන්දියාවේ සිදුව ඇති ව්‍යසන තත්ත්වය හේතුවෙන් මෙම දුෂ්කරතාව ඇතිවී ඇති බවට ද ඒ මහතා ප්‍රකාශ කර තිබුණා. මේ නිසා චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත්, ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරාගෙන එහි ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු අද දිනයේ මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළා.

එමෙන් ම, කොවිඩ්-19 ආසාදනය වූ 878 දෙනෙක් සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 101,763 ක් බව වාර්තා වුණා.