මැයි 06: ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව, දිනය අවසන් වන විට 1851 ක්.

මැයි මස 06 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1851 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1305 වාර්තා වූ අතර අනතුරුව 546 වාර්තා වුනා. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 119,380 ක්.

මේ අතර, දිනකට කොරෝනා ආසාදිත පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් අලුතින් හඳුනාගනිමින් සිටින මොහොතේ, එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. දැනට 17,000 ඉක්ම වූ පිරිසක් රෝහල් ගතව සිටින බව ද දිනකට තවත් 2000ක පමණ පිරිසක් හමුවීමෙන් සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ද කොළඹදී මාධ්‍ය අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරීමේ අවදානමක් ඇති අවස්ථාවේ දේශපාලඥයින්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද තමන්ට බලපෑම් එල්ල වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. අද වන විට මෙරට රෝගීන් වාර්තා වීම බොහෝ ලෙස වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකක මෙන්ම ඖෂධ හිඟයක් ද ඇති වනු ඇති බවටත් ඔවුහු අනතුරු අඟවති. ඒ සමග ම, කොරෝනා මර්දන වැඩපිළිවෙලට අදාළව සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශ, දේශපාලන අධිකාරිය විසින් නොසලකා හරින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ බවට මාධ්‍ය වාර්තා කළා.

කලින් යොදාගත් පරිදි රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබාදීම, අද පෙරවරුවේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආරම්භ වුණා. වසරක් ඇතුළත ස්පුට්නික් එන්නත් ලක්ෂ 65ක් මෙරට ජනතාවට ලබාදෙන බව එම අවස්ථාවට එක්වූ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා. මේ සඳහා අවශ්‍ය ස්පුට්නික් එන්නතේ ලක්ෂ 130ක් මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ඔහු තවදුරටත් පැවසුවා.

ඒ සමග ම, කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 810ක්, අද (05) දිනයේ පිටව ගොස් ඇති බවත් අද දිනය අවසන් වන විට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,885ක් දක්වා ඉහළගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.