මැයි 04 – ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහලට. දිනය අවසන්වන විට 1860 ක්

මැයි මස 04 වන දිනය අවසන්වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1860 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1150 සහ අනතුරුව වාර්තා වූ 710 එකතුව, මෙම 1860 සංඛ්‍යාව හඳුනාගෙන තිබිණ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 115,636 කි.

රජය සහ පෞදගලික අංශ එක්ව සිදුකරන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත නිකුත් කරන මෙම වාර්තාව සඳහා පාදක කරගන්නේ ඊට දින දෙකකට හෝ ඉහල සංඛාවකට පෙර හඳුනා ගත්, පෙර ලබාගත් ජීව සාම්පලවල නියැදියන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා සඳහන් කර තිබින. අද වන විට PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදීමේදී රසායනාගාර වලින් සිදුවන සැලකිය යුතු ප්‍රමාදය මෙයට ප්‍රධාන හේතුව බව, එම සංගමය චෝදනා නගා ඇත.

රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ නිවැරදි අගයක් ලබාගැනීමට නම් PCR පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලබා දීමේ යාන්ත්‍රණයක් වහාම සකස් කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත. 

ඒ සමගම, රටේ පවතින සැබෑ තත්ත්වය දිනපතා පරීක්ෂණවලින් පෙන්වන ප්‍රමාණය වඩා ඉහල අගයක් විය හැකි බැවින් මෙම බැරෑරුම් අවස්ථාවේ රජයට පමණක් මෙහි වගකීම නොපවරා ජනතාව ද වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව ඇත. එබැවින් ඔබගේ අත්‍යවශ්‍ය ම කරුණකට හැර නිවසින් පිටට නොයෑම ද, සෑම විටක ම රජය විසින් නිකුත් කර ඇති කොවිඩ් මර්දන උපදේශන මාලවට අනුව කටයුතු කිරීම ද සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම වේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, අද දිනය වන විට කොවිඩ් රෝගීන් 99153ක් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර ඉන් 944 ක් වාර්තා වී ඇත්තේ මැයි මස 04 වන දින බවය.

Close Menu