සති අන්තයේ දැඩි සංචරණ සීමා ප්‍රකාශයට පත්කෙරේ.

මැයි 13 වනදා රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව, එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

මැයි 12 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවා තිබෙනවා.

මේ වන විට, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා ද පනවා තිබෙනවා. ඒ අනුව, කිසිදු විශේෂ හේතුවක් නොමැතිව පළාතෙන් පළාතට ගමන්කරන පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.

සෑම පළාත් සීමාවක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති විශේෂ ආරක්ෂක මුර කපොලුවල පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සේවයේ යොදවා තිබෙනවා. රථවාහන පරික්ෂා කිරීමේ කටයුතුවල නිරත වන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට මේ ව්‍යසනකාරී අවස්ථාවේ සෑම රටවැසියකු ම කටයුතු කරමින් සිය යුතුකම ඉටුකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව, කොවිඩ්-19 වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර, දිස්ත්‍රික්ක අතර සංචරණ සීමාපැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් වෙනවා.

එසේම, මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයෙන් නිවසකින් එක් අයෙකුට අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් හැඳුනුම්පත් අංක ක්‍රමය මත නිවසින් බැහැර වන ක්‍රමවේදය බලාත්මක කිරීමට තීරණය කර ඇති බව ද කොවිඩ් -19 වසංගතය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එමෙන්ම, ඉදිරියෙහි එළඹෙන රාමසාන් උත්සව දිනයේ සංචරණය සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග යාච්ඤා කර ඊදුල් ෆිතර් උත්සවය සමරන ලෙස සියලුම මුස්ලිම්වරුන්ට දන්වා තිබේ.