රට විවෘත කළ පසු රාජකාරි කටයුතු සඳහා කැඳවීම සිදුවන ආකාරය.

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර, පෞද්ගලික අංශයේ සේවකයන් ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම්වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වුණා.

ඒ අනුව, ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වූ බව වාර්තා වනවා.

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කිරීමට නියමිත වනවා.

මේ අතර, රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇති.