ඔබට කොවිඩ් 19 රෝග ලක්ෂණ තිබේ නම් එන්නත ගැනීමෙන් වළකින්න

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොවිඩ් -19 මර්දන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

මේ අනුව, දැනට නිරෝධායනය වන සහ ආසාදිත වනු ඇතැයි සැක සහිත පිරිස් එන්නත ලබාගැනීම මගින් තමන්ට කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව, මැයි මස 16 දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

දැනටමත් ශරීරය තුළ වෛරසය තිබෙන, එනම් කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතින හෝ දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වනු ඇතැයි සැක කරන අයට එන්නත් ලබාදීම ප්‍රමාද කරන බව ද ඒ මහතා ප්‍රකාශ කරනවා. එබැවින්, කොවිඩ් රෝග ලක්ෂණ වසන් කොට එන්නත ගැනීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් එය සුදුසු නොවන බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තවදුරටත් සඳහන් කරනවා.

කොවිඩ් -19 ආසාදනය වීමෙන් පසු යම් පුද්ගලයකුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම්, එම වෛරසය මගින් ඔවුන්ට ඇති බලපෑම සහ ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම, දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතිව යන බව ද ඔහු සඳහන් කරනවා. ඒ නිසා, රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත, නමුත් රෝග ලක්ෂණ නැති අය, දින 10කින් නිවෙස්වලට පිටත්කර හරින බවත් ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතු බවත් සඳහන් වෙනවා. ඒ අනුව මුලු දින 14ක් ගත වූවාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කිරීමට හැකි බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

එබැවින්, මේ අවස්ථාවේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන කටයුතු කිරීම, එන්නත්කරණයට ලක් කෙරෙන සියලු රටවැසියන්ගේ වගකීම වනවා. කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතිද්දී එන්නත් ලබාගැනීමට ඒකරාශී වන ස්ථානවල ගැවසීම නිසා තවත් අයට රෝගය බෝවීමේ හැකියාවක් ද පවතිනවා. කොවිඩ් මර්දන එන්නත ලබා ගත්ත ද එමගින් සම්පූර්ණයෙන් වෛරසයෙන් ආරක්ෂාවීමක් සිදු නොවන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර තිබුණා.