මැයි 12: තවත් කොවිඩ්-19 ආසාදිතයින් 2,386ක්

මැයි 12 දිනයේ මුල් වටයේදී කොවිඩ්-19 ආසාදිතයින් 1,429ක් සහ අනතුරුව තවත් කොවිඩ්-19 ආසාදිතයන් 957 දෙනෙකු හඳුනාගැනීමත් සමග දිනයේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත ප්‍රමාණය 2,386 ක් බවට වාර්තා වෙනවා. මේ සමග, මෙරටින් හමු වූ මුළු කොවිඩ්-19 ආසාදිතයන් ගණන 133,484ක්.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි 48, මැයි මස 12 දා සිට සිට මැයි මස 31 දා දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර, කොවිඩ්-19 අසාදිතයින් බහුලවශයෙන් හමුවූ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල නගරයේ කොටසක් වසා දැමීමට අද (මැයි 12) සෞඛ්‍ය බලධාරීන් සහ කොළඹ දිස්ත්‍රික් බලධාරීන් පියවර ගත්තා. ඒ අනුව, පිළියන්දල නගරය හරහා රථ වාහනවලට ගමන් කළ නොහැකි වෙනවා. හුදකලා කරන ලද ප්‍රදේශවල පදිංචි අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට ද රාජකාරී සඳහා වාර්තා කිරීම අනුමත නොකරන බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙනවා.

කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා. කොවිඩ් මර්දනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් ව්‍යාපෘතිය මඟින්, රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණවලින් පළමු තොගය අද (මැයි 12) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ව්‍යවසන තත්ත්වයක බවත් කොවිඩ්-19 මර්දන එන්නතක් ලබා ගත්තද දිගටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවත් කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.

ඉදිරි කාලය ඉතාම අවදානම් සහගත බැවින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවට ජනතාව වගබලාගත යුතු වෙනවා.