මැයි 05: ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000කට ආසන්නයේ. දිනය අවසන්වන විට 1939 ක්. 

මැයි මස 05 වන දිනය අවසන්වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1939 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1259 සහ අනතුරුව වාර්තා වූ එකතු අතරට විදෙශයන්හි සිට පැමිණි 42ක් ද එක්ව ඇත. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 118,746 කි.

මේ අතර, දිනකට හඳුනාගන්නා කොරෝනා රෝගීන් ප්‍රමාණය 2,000කට ආසන්න වෙමින් පවතින මොහොතේ, එමෙන් දෙතුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ සිටින බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දී තිබුණා. කොරෝනා ආසාදිතයන්ට වෙන්කර ඇති රෝහල් ඇඳන් මෙන් ම දැඩි සත්කාර ඒකක ද ඉතාම ශීඝ්‍රයෙන් පිරී යමින් තිබෙන බැවින් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙස ද ඇය ඉල්ලා සිටියා ය.

ප්‍රථම වටයේදී එන්නත්කරණයට ලක්වූ කොළඹ ජනතාව අතර කොවිඩ් තුන්වන රැල්ලේ බලපෑම දක්නට ඇත්තේ ඉතා සුලු වශයෙන් බවත් අද වාර්තා වුණා. කොළඹ නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් බොහෝ පිරිසක් කොළඹ නගරයේ සේවය කරන නමුත් නේවාසික පුද්ගලයින් නොවන බව ද හඳුනාගෙන තිබුණා.

මේ අතර, රුසියාවේ සිට රැගෙන ආ ‘ස්පුට්නික් V’ එන්නතෙහි පළමු මාත්‍රාව හෙට (06) සිට කොළඹ ගොතටුව ප්‍රදේශය කේන්ද්‍රකොට වයස අවුරුදු 30ත් 60ත් අතර ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්, තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු මරණයට පත් වූ බව වාර්තා කළා. ඒ සමග, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළ නැගුණා.

ඒ සමග ම, කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 922ක්, අද (05) දිනයේ පිටව ගොස් ඇති බවත් අද දිනය අවසන් වන විට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.