මැයි 21: දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,538ක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 2,891ක් මුලින් වාර්තා වී තවත් රෝගීන් 647 දෙනෙකු අනතුරුව වාර්තාවීමත් සමග මැයි 21 දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,538ක් ලෙස වාර්තා වෙනවා. මේ අනුව, මේ දක්වා මුළු ආසාදිතයින් 158,324 නිල වශයෙන් හඳුනා ගෙන තිබුණා.

මේ අනුව, පසුගිය දින තුනට ආසාදිතයින් 10,604 වාර්තාවු අතර පසුගිය දින තුනට මරණ 108 ක් වාර්තා වුණා. දිනෙන් දින වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන බව පෙනී යනවා.

දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා. එබැවින්, දැනට පවතින තත්ත්වය පාලනය කිරීමට එකම විසඳුම, දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරනවා.

වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කළා.

කොවිඩ් පාලනය පිළිබඳව මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ මැයි 21 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කළා.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත්කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනයේ සඳහන් වෙනවා.