අගෝ 19: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3,793ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 186ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 3,793 දෙනෙකු අගෝස්තු 19 දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 370,429ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම, අද දිනය තුළ ආසාදිතව සිටි 2,186ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 318,714ක් විය.

එලෙසම, කොවිඩ්-19 වෛරසය ආසාදනය නිසා සිදු වූ මරණ 186ක් අගෝස්තු 18 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 186ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඒ අතර කාන්තාවන් 75 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 111 දෙනෙකුද සිටින බව වාර්තා වෙනවා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 147 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.