අගෝ 17: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3,555ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 171ක්

අගෝස්තු මස 16 වන දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් සිදුවූ මරණ 171ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එම මරණ සංඛ්‍යාව මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වෙනවා.

මේ මරණ අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 102 දෙනෙකුද සිටිනවා. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් ‍දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

අගෝස්තු මස 17 වන දින දිනය සඳහා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති පරීක්ෂන මගින් තහවුරු කළ සමස්ත ආසාදිතයින් ගණන 3,555ක් බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,283ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 314,340ක් වෙනවා.