මැයි 20: දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 3441ක්, පරීක්ෂණවලට ලක් නොවූ තවත් පිරිසක් සමාජයේ

මැයි 20: මුල් වටයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,780 හඳුනාගැනීමෙන් අනතුරුව තවත් තවත් ආසාදිතයන් 661ක් හඳුනාගැනීමත් සමග අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය 3,441ක් බවට පත්වුණා. මේ සියලු වාර්තාවන් සකස් වන්නේ ඊට පෙර දින හෝ ආසන්න දිනක ලබාගත සාම්පලවල පරීක්ෂණ ප්‍රතිඵල ලෙසයි.

එමෙන් ම, අද දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්ත පිරිස 123,532ක් බවට පත්වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කළා.

අද දිනයේදී පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 467 දෙනෙකු සහ බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 150 දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණා. පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් දහසකගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අනුව පෙනීයන්නේ, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දැමීමත් සමග ආසාදිතයින් වාර්තාවන ප්‍රමණය ද ඉහළ යන බවයි.

පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට රටපුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා. ඇඳන් ගණන වැඩි කිරීමෙන් කොවිඩ්-19 පැතිරයාමේ තත්ත්වය පාලනය කළ නොහැකි බව ද ඒ මහතා අවධාරණය කළා.

පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද වෛද්‍යවරයා අනතුරු ඇඟවූවා.

කොවිඩ් -19 ආසාධිතයන්ගේ පිහිටට, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි දින 10 න් ඇඳන් 10000 ක් ව්‍යාපෘතියේ නිමකළ ඇඳන් ඒ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රදානය කිරීම මේ වනවිට සිදුවෙනවා.

දිනපතා නිවේදනය කරන කොරෝනා ආසාදිතයන් මෙන් දෙගුණයක්, තුන්ගුණයක් පමණ ආසාදිත ප්‍රමාණයක් පරීක්ෂණවලට ලක් නොවී සමාජය තුළ සිටිය හැකි බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අද වාර්තා වුණා. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන අයුරින්, ඉන් එන්නත් මාත්‍රා මිලියන 3ක් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දෙනවා.

එසේම, චීනය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක්, ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද චීන තානාපති කාර්යාලය පවසනවා. මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව, මේ වන විට පුද්ගලයින් 474,685 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා.