රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ සිට යුද හමුදාවට.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට භාරදීමට පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී පවත්වා තිබේ.

එහිදී අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරි සැලසුම් පරීක්ෂා කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

Close Menu