දිස්ත්‍රික් 24ක කොරෝනා.

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද වනවිට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ (29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලතිවු දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 586 ක් දක්වා ඉහළ ගියේය.

ඔවුන් අතරින් 467 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරිණුත්, 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලිණුත්, තවත් සිව්දෙනෙකු විදේශයන්ගේ සිට පැමිණි අය අතරිණුත් හඳුනාගැනුණි.

පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින්  467 දෙනා ගේ ව්‍යාප්තිය දිස්ත්‍රික්ක  කිහිපයක් පුරා සිදුව තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209 දෙනෙකු,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු,බදුල්ල දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් සහ මොනරාගල,හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු බැගින් වාර්තා විය.

ඒ අනුව අද වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,313 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවැනි පසුබිමක මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,000 සීමාව ආසන්නයට පැමිණ තිබේ.

ආසාදිතයින් 5630 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර  සුවය ලැබූ ගණන 4,142කි.

කොවිඩ් මරණ සංඛ්‍යාව ගතවූ දින කිහිපය තුළ 19 දක්වා ඉහළ ගියේය.

Close Menu