හෙට සිට පොදු ප්‍රවාහන සේවා රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින එනම් හෙට දින සිට ලිහිල් කිරීමට රජය
කර තිබේ.ඒ සමඟ ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡාකොට තිබේ.

ඒ අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දෙනු ලැබීය.

එම උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් ලබා දි තිබේ.

රජය විසින් හෙට දින රට නැවතත් විවෘත කරන්නේ සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය ගමන් බිමන් යාම සඳහා නොව රටේ ආර්ථිකය නංවා, ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික දරිද්‍රතාවය මග හරවා ගැනීමට බව දඅමාත්‍යවරයා පවසයි.

දුම්රිය හා බස් රථ තුළින් තම රාජකාරි සඳහා ප්‍රවාහන සේවා ලබා ගන්නා සියලුම පුද්ගලික හා රාජ්‍ය අංහයේ නිලධාරින් මුඛ ආවරණ පැලඳගැනීම හා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගැනීම මෙන්ම මාර්ගවලට කෙළ ගැසීමෙන් වැළකීම, කිවිසුම් හරින විට වැලමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගැනීම, බස් රථ හා දුම්රිය ආසනවල ඇති ආධාරක ස්පර්ශ කිරීමේන් වැළකීම මෙන්ම ඒවා ස්පර්ශ කළහොත් වහාම විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සියලු සනීපාරක්ෂක විධි අනුගමනය කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කරන අතර දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සැළකිය යුතුය.

Close Menu