රටවල නීති ලිහිල් කරන්නට පෙර කළයුතු දේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මීට කලකට ඉහතදී ලෝකය පුරා පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික පිරිසකට මරු කැඳවමින් ලොවපුරා ව්‍යාප්ත වූ සුකර උණට වඩා කොරෝනා වෛරසය මාරාන්තික බවත් මෙම වසංගතය මැඩලීම සඳහා අනිවාර්යෙන්ම සාර්ථක එන්නතක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින එම වෛරසය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් අධ්‍යයනය කරන බවයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගෙන් සීයයට 6.4ක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත. නමුත් සුකර උණ වැළදුණු රෝගීන් ගෙන් ජිවිතක්ෂයට පත්වීමේ අවධානමක් පැවතියේ සීයයට 1.1 කට පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඇතැම් රටවල දින කිහිපයක් ඇතුලත කොරෝනා රෝගයේ ව්‍යාප්තිය විශාල වශයෙන් වැඩිවන බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෛරසයට නිරාවරණය වූ රෝගින් සොයා ගැනීම, ඔවුන්ව හුදෙකලා කිරීම, ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ අයවළුන් සොයා ඔවුන්වද හුදෙකලා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් ක්‍රියා කරන්නේ මන්දගාමී ස්වරූපයෙන් බව ද පැවසුවේය.එය රෝගය මෙතරම් පැතිරීමට සෘජුව බලපෑ කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට කොරෝනා වෛරසය මර්ධනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් ලොවපුරා ජනගහණයෙන් හරි අඩකට අධික පිරිසක් නිවෙස් වලට සීමාවී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වුවත් එහි අවම වීම ඉතා සෙමින් සිදුවන බවයි. ඕනෑම මොහොතක වෛරසයේ ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමක් ඇති බවයි ඔහු පෙන්වා දෙයි.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලොව රටවල් රැසක් වසා දමා ජනතාව නිවෙස් වලට සිමා කරමින් පනවා ඇති නියෝග ඉවත් කිරීමට මේ වන විට පෙළඹී සිටින බවත් එය නුවණට හුරු කාරණාවක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියි.

එවැනි ලිහිල් කිරීමක් සිදුකරන්නේ නම් අනිවාර්යෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර අදාළ රටවල් විසින් ගෙන තිබීම සහ නිවැරදි මහජන සෞඛ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබීම අනිවාර්ය බව ඔහු සඳහන් කරයි.

Close Menu