මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අගමැතිවරයා සාකච්ඡාවක.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතුවලින් උපයා ගන්නා මුදල් සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් සමඟ අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත විය.

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි ආදී දෙපළ ඊට අදාළ නඩු විභාග අවසන් කර දේපළ රාජ සන්තක කරන තෙක් අදාළ පාර්ශ්ව විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තව දුරටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම එහි මූලික අරමුණ විය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපළ රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේ දී ම එම දේපළ රජය භාරයට ගැනීමට කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීහු මගේ අවධානය යොමු කළහ.

මුදල් විශුද්ධි කරන පනත සහ 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම පනත් අවශ්‍ය සංශෝධනවට ලක් කිරීම සහ දැනට තිබෙන  ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් විසින් කරුණු දක්වන ලදී. ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් තීරණය විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ චනෝකා මොහොට්ටි, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු තවත් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Close Menu