පුනර්ජනනීය විදුලිබලය වැඩි කිරීමේ සැලැස්මක් හදන්න- ජනපති උපදෙස් දෙයි.

2030 වසර වන විට මෙරට සමස්ථ විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස්කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවෙමින් සිටින අතර මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩි වීම සියයට 6ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ද ගණන් බලා තිබේ.

මෙම තත්ත්වයන් හමුවේ අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට ඇති තිරසර සංවර්ධනයකට මඟපාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Close Menu