පෑලියගොඩ මැනිං වෙළඳපොළ ජනතා අයිතියට.

80 දශකයේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ පසුව විවිධ අපහසුතා මැද පවත්වාගෙන ගිය පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

80 දශකයේ පිටකොටුව නගරයේ ස්ථාපිත කළ මැනිං වෙළෙඳ සංකීර්ණය කාලයාගේ ඇවෑමෙන් සහ ජනාකීර්ණත්වය හේතුවෙන් සංකීර්ණ තත්ත්වයකට පත්විය.එමෙන්ම ඉඩ පහසුකම් අවම විය.

මෙම ගැටලු අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැලසුම් කෙරුණේ 2011 වසරේදීය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ කාලයේ ක්‍රියාවට නැංවූ මෙරට නගර තිරසර හා දැකුම්කලු නගර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට අනුව මෙම සැලසුම් සකසන ලදී.

2013 වසරේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් ඇරඹුණි.

ඊට වැය වූ මුදල රුපියල් බිලියන 6.9කි.

පිටකොටුවේ අක්කර 2ක කුඩා බිමක දැඩි තදබදයක් මැද පවත්වාගෙන ගිය මැනිං වෙළෙඳ සංකීර්ණයේ නව භූමිය අක්කර 13.5 ක විශාලත්වයෙන් යුක්ත වේ.

මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ නැවැත්විය හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, ‍හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.

මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ද ඉදිකර ඇත.

ඉදිකිරීම් සිදුකෙරුණේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශන ආයතනයේ අධීක්ෂණය යටතේය.

මෙම වෙළෙඳ සංකීර්ණය හරහා ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයනට පහසුකම් සැපයීමට බලාපොරොත්තුවේ.

Close Menu