උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම හෙට දින

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින
හෙට පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

එහෙත් පාසල් වසා තැබීම ඇතුළු කරුණු හේතුවෙන් සිසුන්ට අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවට ඉදිරිපත් වුණු කරුණු සැළකිල්ලට ගනිමින් විභාග දින සංශෝධනය කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළ නිර්දේශ යටතේ ලබන 27 වැනි දා සිට යළි පාසල් විවෘත කෙරෙයි.

එහිදි 11,12 සහ 13 යන ශ්‍රේණිවල ළමුන් සඳහා පමණක් පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වැනි දාට පෙර විවෘත නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Close Menu